භෞතික විද්‍යාව පිළිබඳව හැඳින්වීම

භෞතික විද්‍යාව අධ්‍යයනය ආරම්භ කරන ඔබට, බොහෝවිට භෞතික විද්‍යාව සහ උසස් පෙළ භෞතික විද්‍යා පාඨමාලාව පිළිබඳව කරුණු දැනගැනීමට අවශ්‍යව ඇත. එම නිසා භෞතික විද්‍යාව පිළිබඳව ඔබට වැදගත් වන කරුණු කිහිපයක් පළමුව කතා කරමු.

භෞතික විද්‍යාව යනු කුමක්ද?

භෞතික විද්‍යාව යන්න සරලව ක්‍රම කිහිපයකට හැඳින්වීමට පුලූවන් වේ.

  • ස්වභාවික සංසිද්ධීන් අධ්‍යයනය කිරීම තුළින් ලබා ගත් දැනුම භෞතික විද්‍යාව ලෙස හැඳින්වීමට පුලූවන් වේ.
  • ස්වභාව ධර්මයේ නියම අධ්‍යයනය කිරීම සහ අජීවී වස්තු සඳහා ඒවායේ යෙදීම් භෞතික විද්‍යාව ලෙස සැලකිය හැකිය.
  • සියලූම විද්‍යාවන් හි මූලික පදනම භෞතික විද්‍යාව වන අතර එය පදාර්ථයේ ව්‍යුහය සහ එහි හැසිරීම් අධ්‍යයනය කරයි.
  • පදාර්ථය, ශක්තිය සහ ඒවා අතර සම්බන්ධකම් අධ්‍යයනය කරන විද්‍යාව, භෞතික විද්‍යාව වේ.
  • භෞතික විද්‍යාඥයා කරන දෙය භෞතික විද්‍යාව ලෙස හැඳින්වීමට හැකිය.
  • මේ සියලූ ප්‍රකාශවලින් භෞතික විද්‍යාව නිවැරදිව විස්තර වේ.

එහෙත් වඩා විස්තරාත්මක ප්‍රකාශය වන්නේ අවසාන ප්‍රකාශයයි. එම නිසා භෞතික විද්‍යාව යන්න තේරුම් ගැනීමට භෞතික විද්‍යාඥයා කරන්නේ මොනවාදැයි සොයමු. මේ සඳහා පළමුව විද්‍යාවේ ඉතිහාසය අධ්‍යයනය කරමු

විද්‍යාවේ ඉතිහාසය

මානව ශිෂ්ඨාචාරය දියුණු වීමට ප්‍රධාන හේතව වන්නේ මිනිසාගේ පවතින විමර්ශණාත්මක හැකියාව වේ. එනම් මිනිසා ලෝකය තේරුම් ගැනීමට උත්සාහ ගත්තේය මෙහි ප්‍රතිඵලය ලෙස දර්ශනය(Philosophy) බිහිවිය.

අතීතයේදී විද්‍යාව සහ දර්ශනය අතර වෙනසක් නොතිබුන අතර දාර්ශනිකයන් ලෞකික (ස්වභාවික) මෙන්ම අලෞකික (අධ්‍යාත්මික) සියලූ සිදුවීම් පැහැදිළි කිරීමට උත්සාහ දරණ ලදි. උදාහරණ ලෙස ක්‍රි.පූ.350 දී පමණ විසූ ඇරිස්ටෝටල් සැලකීමට පුලූවන් වේ.

ක්‍රි.ව.1600 පමණ ගැලලියෝ ගැලලි ජීවත් වන සමයේ දර්ශනය කොටස් දෙකකට වෙන්විය. මින් එක් කොටසක් ස්වාභාවික දර්ශනය(Natural Philosophy) නම් විය. එය මගින් වර්තමානයේ හෝ අනාගතයේදී සිදු කළ හැකි පරීක්ෂණ මගින් පැහැදිළි කළ හැකි සිද්ධීන් ( උදාහරණ ලෙස වස්තුවක් පොළොවට වැටීම වැනි සිද්ධීන් ) අධ්‍යයනය කරන ලදි. ක්‍රි.ව.1800 දී පමණ සිට ස්වභාවික දර්ශනය සඳහා විද්‍යාව යන නම භාවිතා කරන ලදි.

අනෙක් කොටස තර්ක, ආචාර ධර්ම සහ වාද මත පදනම් වූ අතර එය මගින් (වර්තමාන)දර්ශනය(Philosophy) සහ දේව ධර්මය(Theology) බිහිවිය.

කාලය ගතවන විට දැනුම පුළුල් වීම සමග විද්‍යාව තවත් කොටස් වලට වෙන්විය. උදාහරණ ලෙස පදාර්ථයේ ව්‍යුහය සහ පරමාණු, අණු සහ ඒවා අතර ප්‍රතික්‍රියා අධ්‍යයනය රසායන විද්‍යාව(Chemistry) ලෙසද ජීවීන් පිළිබඳව අධ්‍යයනය ජීව විද්‍යාව(Biology) ලෙසද පොළොව පිළිබඳව අධ්‍යයනය භූ විද්‍යාව(Geology) ලෙසද නම් කරන ලදි. ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ගෘහනිර්මාණ ශිල්පය, මනෝ විද්‍යාව යන ඒවා ද මෙසේ වෙන්වූ කොටස් වේ.

මෙසේ විද්‍යාව කොටස් වලට වෙන්වුවත් ඒ සියලූම විද්‍යාවන් ගේ මූලික පදනම ලෙස භෞතික විද්‍යාව පැවතුනි. ඕනැම විද්‍යාත්මක ගැටලූවක් මූලධර්ම මගින් අධ්‍යයනය කරන්නේ නම් භෞතික විද්‍යා නියම ආධාරයෙන් විසදුම ලබා ගත හැකිය. මෙය ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භූ විද්‍යාව ආදී සියල්ලටම පොදු සිද්ධියකි. එසේම ජීව විද්‍යාවේදී සජීවී සෛල වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමේදී පවා භෞතික විද්‍යා නියම ආධාර වේ.

මින් පැහැදිළි වන්නේ විද්‍යාවේ සියලූම අංශ සඳහා භෞතික විද්‍යාව මූලික වන අතර භෞතික විද්‍යාඥයා සියලූම අංශ වල වැඩ කරන බවයි.

භෞතික විද්‍යාව ඉගනගත යුත්තේ ඇයි?

විද්‍යා අංශයේ කුමන ක්ෂේත්‍රයක වුවත් මූලික සංකල්ප භෞතික විද්‍යාව මත පදනම් වන නිසා භෞතික විද්‍යාව ඉගන ගැනීම ප්‍රයෝජනවත් වේ.

භෞතික විද්‍යාව අමාරු විශයක්ද?

මෙය උසස් පෙළ ඉගෙනගන්නා සහ ඉගෙනගත් බොහො දෙනෙක් ගෙන් ඇසුව හොත් "ඔවු" ලෙස පිළිතුරු සපයයි. මෙම පිළිතුර සපයන්නන් ගැන ඔබ සෙවීමක් කළහොත් ඔබට එක දෙයක් සොයා ගැනීමට පුළුවන් වේ. එය නම් ඔවුන් භෞතික විද්‍යාව සාර්ථකව ඉගෙනගන්නා සහ ඉගෙනගත් අය නොවන බවයි. යමෙක් භෞතික විද්‍යාව සාර්ථකව ඉගෙන නොගන්නේ නම් එයට ප්‍රධාන හේතුව වන්නේ ඔහු භෞතික විද්‍යාව ඉගෙන ගන්නා ආකාරය නොදන්නා බවයි. බොහෝවිට මෙයට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා වන්නේ ඔහු භෞතික විද්‍යාව ඉගෙනගන්නා හෝ ඉගෙනගත් ගුරුවරයා වේ.

භෞතික විද්‍යාව ඉගෙනගත යුත්තේ කෙසේද?

භෞතික විද්‍යාව යනු මතක තබාගත යුතු කරුණු, නීති හෝ නියම රාශීයක් නොවේ. එම නිසා කටපාඩම් කිරීම සහ මතක තබාගැනීම භෞතික විද්‍යාව ඉගෙන ගැනීමේදී වැරදි මාර්ගයක් වේ.

භෞතික විද්‍යාව සාර්ථකව ඉගෙන ගැනීමට නම්,

පළමුව ඔබ භෞතික විද්‍යාවේ මූලික සංකල්ප සහ නියම ඉගෙනගත යුතුය. ඉන් පසු අප අවට විශ්වය තේරුම් ගැනීම සදහා ඒවා භාවිතා කිරීම මගින් ඒවායේ සම්පූර්ණ අදහස තේරුම් ගත යුතුය. භෞතික විද්‍යාව ඉගෙන ගැනීමේ නිවැරදි මාර්ගය වන්නේ තේරුම් ගැනීමයි.

භෞතික විද්‍යාව ඉගෙන ගැනීම ක්‍රීඩාවක් ප්‍රගුණ කිරීම හා සමාන වේ. මෙහිදී පළමුව ක්‍රීඩාවේ නීති රීති ඉගෙනගත යුතු අතර ඉන් පසු ක්‍රීඩා කරන විට අවස්ථාව අනුව ඒවා යොදාගත යුතුය. ඔබ වැඩිපුර ක්‍රීඩා කරයි නම් ඔබ ක්‍රීඩාවේ ප්‍රවීනයකු වේ. පොත් පත් සහ උපදේශකයන් මගින් ක්‍රීඩාවේ නීති සහ ක්‍රීඩා කරන ආකාරය ඉගෙන ගතහැකි වුවත් ක්‍රීඩාවේ ප්‍රවීනයකු වීමට වැඩිපුර පුහුණු විය යුතුය.

ඔබට ගුරුවරුන් සහ පොත් කියවීම මගින් භෞතික විද්‍යාවේ මූලික සංකල්ප සහ නියම ඉගෙනගත හැකි අතර ඔබට ප්‍රවීනයකු වීමට නම් ඒවා ගැටලූ විසදීම සඳහා ප්‍රායොගිකව යොදාගත යුතුය. ප්‍රවීනයකු වීමට ඔබට ආධාර වන්නේ ඔබ ඉගෙන ගන්නා උපකාරක පන්ති සහ කියවන පොත් ප්‍රමාණය නොව ඔබ විසින් විසදන ගැටලූ ප්‍රමාණය වේ.

ගැටලූවක් විසදීමේදී වඩා වැදගත් වන්නේ ලබාගන්නා පිළිතුර නොව එය ලබාගත් ක්‍රමය තේරුම් ගැනීමයි. මේ අනුව ගැටලූ විසදීමේදී ප්‍රයෝජනවත් වන්නේ මතකයේ තබාගැනීමට වඩා ප්‍රායොගික චින්තනය තුලින් ලබාගන්නා දැනුම වේ.

භෞතික විද්‍යාවේ සංකල්ප තේරුම් ගැනීමේදී ගුරුවරුන් මෙන්ම හිත මිතුරන්ද ඔබට ප්‍රයෝජනවත් වේ. නමුත් ගැටලූ විසදීමේදී තනිවම හැකි තරම් උත්සාහ කිරීම සුදුසු වේ.

උසස් පෙළ භෞතික විද්‍යාව

උසස් පෙළ විශය නිර්දේශයට ඒකක 12 ක් ඇතුලත්ය. ඒවා පහත දැක්වේ.

  1. මිනුම
  2. යාන්ත්‍ර විද්‍යාව
  3. දෝලන සහ තරංග, ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව
  4. තාප භෞතිකය
  5. ගුරුත්වජ ක්ෂේත්‍රය
  6. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය
  7. ධාරා විද්‍යුතය
  8. විද්‍යුත් චුම්බකත්වය
  9. ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  10. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
  11. පදාර්ථ සහ විකිරණ
  12. විද්‍යාවේ නව වර්ධනයන්

මෙම ඒකක ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම භෞතික විද්‍යාවේ ප්‍රවීනයකු වීමට මෙන්ම භෞතික විද්‍යාව සදහා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට ඇති එකම මාර්ගය වේ.

Vishwa Ranganath | admin@PhysicsLanka.com | +94 77 2078816